Monday, November 17, 2014

ශ්‍රී ලංකාවේ අලින්ට මොකද වෙන්නේ

           ශ්‍රී ලංකාවේ වාර්ෂිකව අලි ඇතුන් 250ක් පමණ ව්විධ හේතු නිසා මිය යනවා.අලි-මිනිස් ගැටුම හා බැඳුනු වෙඩි තැබීම් හා කඳන් බැඳීම්, වස දීම්, හක්ක පටස් හා දුම්රිය අනතුරු,වගා ලිං වලට සහ පතල් වලට වැටීම් මේ හේතු අතර ප්‍රධානයි. මීට අමතරව, අලි-මිනිස් ගැටුම නිසා වසරකට අලි පැටවුන් 40ක් පමණ අනාථ වනවා. ඒ විතරක්ද? ගෘහාශ්‍රිතකරණයට හා ලාංකීය සංස්කෘතිය රකින්නට යැයි කියමින්, කිරි නොවැරූ අලි පැටවුන්
ඔවුන්ගේ රංචු වලින් පැහැරගෙන විත්, ඔවුන්ව පීඩාවට පත්කොට ‘හීලෑ’ කිරීමත් සිදුවීම කණගාටුවට කරුණක්.

          අපි අලි ඇතුන් ගැන කතා කළ යුත්තේ ඇයි? ගොඩබිම වසන විශාලතම ශාකභක්ෂක සත්ත්ව විශේෂය වන අලි ඇතුන් ඔවුන් සිටින පරිසර පද්ධතිය විද්‍යාත්මකව කළමනාකරණය කරන ඉංජිනේරුවන්. ඒ පරිසර පද්ධතියේ වැඩෙන සමහර ශාක වර්ගවල බීජ ප්‍රචාරනයට වගේම ඒවායේ ප්‍රරෝහණය සාර්ථක වන්නට නම් අදාළ බීජ අලි ඇතුන්ගේ ආහාර මාර්ගය හරහා යා යුතුයි. ලොකු කුඩා ශාක ආහාරයට ගැනීම, අතු සහ කඳන් කඩාබිඳ දැමීම වැනි චර්යාවන් මගින් ඔවුන් සිය වාසස්ථානයේ භෞතික ස්වභාවය වෙනස් කරනවා. සිය පැවැත්ම උදෙසා මේ වෙනස්කම් වෙනුවෙන් ම බලා සිටින සත්ත්වයින්ට හා ශාක වලට අලි ඇතුන්ගේ සේවය අත්‍යවශ්‍යයි. පරිසර පද්ධතියක සිටින ජීවී විශේෂ වල අන්තර්ක්‍රියාවන් හරියට මකුළු දැලක රැහැන් වගේ; එකිනෙකට සමබරව බැඳී තිබෙනවා. මකුළු දැල හානි නොවී පවත්වා ගන්නට සෑම ජීවියෙක්ම සහාය වෙනවා. සිය වාසස්ථානයේ අලි ඇතුන් අනිවාර්ය සංඝටකයක් වන්නේ මේ නිසා.
       මොවුන් සමාජශීලී සතුන්. පරිණාමිකව ඉතා ඉහල මට්ටමක සිටින නිසා, ඔවුනොවුන් අතර සන්නිවේදනය හා අන්තර් සබඳතා ඉතා සංකීර්ණයි. ගැහැණු සතුන් බොහෝ විට සිය ජීවිත කාලය පුරාම තමන් උපන් රංචුවේ රැඳී සිටිනවා. නමුත්, තරුණ වියට එළැඹෙන පිරිමි සතුන් රංචුව හැර ගොස් තනිවම ජීවත් වෙනවා. ඔවුන් යළිත් රංචුවකට එක් වන්නේ ප්‍රජනන ක්‍රියාවලියට සුදුසු ගැහැණු සතුන් සොයා උන් සමග එක් වීමටයි.
         අලි රංචුවක හැසිරීම් බොහෝ විට තීරණය වන්නේ එහි සිටින කුඩා පැටවුන්ගේ ආරක්ෂාව සහ පැවැත්ම අරමුණු කරගෙනයි. පැටවුන් ආරක්ෂා කර ගැනීමට රංචුවේ සියළුම සාමාජිකයන් කැපවීමෙන් කටයුතු කරනවා. ඔබ ජාතික උද්‍යානයක සංචාරය කරද්දී අලි රංචුවක් කලබල වී ඔබගේ ගමන් මග අවුරා සිටියා ඔබට මතකද? යළි සිහි කළොත්, ඒ රංචුවේ කුඩා පැටවුන් සිටිය වග ඔබට මතක් වේවි. දවසේ වැඩි වේලාවක් ශාක කොටස් බුදිමින් ඇවිදින අලි ඇතුන් උදයේ හෝ සවස් කාලයේ ජල පානයට හා ජලස්නානයට බොහෝ වේලාවක් වැය කරනවා. ඔවුන්ගේ සමාජ ජීවිතයේ අන්තර්ක්‍රියාවන් අඛණ්ඩව හා සවිමත්ව තබා ගැනීමට මේ චර්යා රටා ඉතා වැදගත්.
         අප්‍රිකානු අලින්ගේ ගැහැණු, පිරිමි දෙවර්ගයටම දළ තිබුනත්, ආසියාතික අලින්ගේ දළ දරන්නේ පිරිමි සතුන් පමණයි. සෑම ආසියාතික පිරිමි අලියෙක්ම දළ ඇතෙකු වන්නේත් නැහැ. ශ්‍රී ලංකාවේ දළ දරන අලින් සංඛ්‍යාව මුළු අලි ගහනයෙන් සියයට පහකටත් (5%) අඩුයි.
         අලි ඇතුන්ගේ පැවැත්මට එල්ල වී තිබෙන තර්ජන නිසා ඔවුන්ගේ ස්වභාවික ජීවන රටාව බොහෝ අවුල් වී තිබෙනවා. 20 වන ශතවර්ෂය ආරම්භයේදී 12,000ක් පමණ වූයේයැයි සැලකෙන ලාංකීය අලි ගහනය, 2011 වසරේ සිදු කළ සංගණනයට අනුව ආසන්න වශයෙන් එයින් හරි අඩක්. පාරිසරික වශයෙන් මනා දුර දැක්මක් නැති, නොනවතින සංවර්ධන ක්‍රියාවලි නිසා ඔවුන්ගේ වාසස්ථාන හානියට පත් වෙනවා. නීතිප්‍රකාර ප්‍රකාශයට පත් කර ඇති ජාතික රක්ෂිත ප්‍රදේශතුළ රැඳී සිටින්නේ රටේ අලි ගහනයෙන් සියයට තිහකට අඩු සංඛ්‍යාවක්. වැඩි ප්‍රමාණයක් ගැවසෙන්නේ රක්ෂිත ප්‍රදේශ වලින් පිටත මිනිස් වාසස්ථාන අවට. ගොවීන් වගා කරන බෝග වර්ග අලි ඇතුන්ගේ ස්වභාවික ආහාර වර්ග වලට වඩ ආකර්ශනීයයි; පෝෂණ ගුණයෙන් යුක්තයි, එවගේම දිනය පුරා වනයේ බොහෝ දුරක් ගමන් කිරීමෙන් තොරව ඉතා පහසුවෙන් ලැබෙන මේ පෝෂණයෙන් යුත් ආහාර වලට ලොල් වී අලි ඇතුන් ගම් වැදීම විශාල ගැටුමකට මුළ පුරලා. දැනට ඉතිරි වී ඇති වියලි සහ අතරමැදි කලාපීය වනාන්තර මායිම් එළි කරමින් කෘෂිබිම් ව්‍යාප්ත කරන ගොවි මහතුන් මේ ප්‍රශ්නයේ අනිත් කොටස් කරුවන්.
          සංස්කෘතික ක්‍රියාකාරකම් වලට යොදා ගන්නැයි පවසමින් සමාජයේ එක් ස්ථරයකට සීමාවූ අලි අයිතිකරුවන්, වල් අලින් ගෘහාශ්‍රිත කරන්නට කැප වී ක්‍රියා කරනවා. නමුත්, ඒ සතුන්ගේ සුබසාධනය පිළිබඳව අලි අයිතිකරුවන්වත්, නීතිය බලගන්වන රාජ්‍ය නිළධාරීන්වත් සැළකිලිමත් වන්නේ නැහැ.
                මිනිස් අවශ්‍යතා සඳහා දුරබැහැර පෙදෙස් කරා තැනෙන මහාමාර්ග, දුම්රිය මාර්ග මඟින් සතුන්ගෙ සාමාන්‍ය ජීවන රටාවටද තර්ජනයක් තියෙනව. උදාහරණයක් ලෙස වනාන්තර හරහා ඉදිරිකර ඇති දුම්රිය මාර්ග නිසා සමහර අවස්ථාවලදි අලි ඇතුන් තුන් හතර දෙනා එකවර රාත්‍රී දුම්රියන්ට අසු වීම මෙයට කදිම උදාහරණයක්.
         තවද වනයේ නිදහස්ව ජීවත්විය යුතු සතුන් දම්වැල්වලට කැපුණු ගැඹුරු තුවාල සහිතව, තද අවුවේ ඇවිද්දවමින්, නිසි ලෙස ආහාර, වතුර සහ විවේකය නොමැතිව සංචාරක කර්මාන්තයේ යොදවයි. රටේ සංස්කෘතියට ඉන් ලබා දෙන දායකත්වය කුමක්දැයි විදෙස් සංචාරකයන් මේ වන විටත් ප්‍රශ්න කරන්නට පටන් අරන්.
            එපමණක් නොව, සිය රංචුවේ රැකවරණය මැද, මවගේ පෝෂණය ලබන අලි පැටවුන් කැළෙන් උස්සාගෙන අවුත් (මෙය නීති විරෝධී යැයි අමුතුවෙන් කිව යුතු නැත) සිරකර තබන්නේ ඔවුන්ව පීඩාවට පත් කොට හීලෑ කර ගන්නා අදහසින්.
         අලි ඇතුන් වඩා ලස්සනට පෙනෙන්නේ ඔවුන් වනන්තරයේ නිදහස්ව සැරිසරන විට පමණි. සිංහල ජන සාහිත්‍යය දුටු චමත්කාරයෙන් උන්ව දකින්නට නම් උන්ගේ නිදහස් පැවැත්ම අප විසින් මනා කොට තහවුරු කළයුතු වෙනවා.

මේ උදාහරණය ගජගා වන්නමෙන්,

දෙව්පුර ඇතෙකි – කුඹු දහසයකි
දිග දළ අටකි – සත් ගැබකි

අලි ඇතුන්ගේ පාරිසරික වටිනාකමත්, උන්ට ශ්‍රී ලංකාවේ මතු වෙමින් ඇති නොනවතින තර්ජන ගැනත් අප හැමෝම දැනුවත් වී සිටීම වැදගත්. හන්තාන ලිනක්ස් නවතම නිකුතුව “Tusker ටස්කර්” තේමාව භාවිත කරමින් තාක්ෂණික ප්‍රජාව වටා කතිකාවතක් ගොඩ නැගෙන අවකාශයක අලි ඇතුන් ගැන සාකච්ඡාවට ගැනීම ඔබ ඒ සතුන් සංරක්ෂණයට ගත් පළමු සාර්ථක පියවර වෙනවා.



No comments:

Post a Comment