ශ්‍රී ලාංකේය නාට්‍ය වංශ කතාවේ හැරවුම් ලක්ෂයක් වෙමින් මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් අතින් -”මනමේ” නාටකය බිහිවන්නේ අදින් වසර 58 කට පෙරාතුවය. ඒ 1956 වසරේදීය. එතෙක් පැවැති කෝලම් සහ නාඩගම් සම්ප‍්‍රදාය ආශ‍්‍රය කරගනිමින් විශේෂයෙන්ම සින්දු නාඩගමක ස්වරූපය ගත් -”මනමේ” නාටකය එදා බිහිවන්නේ -”චුල්ලධනුද්ධර” ජාතකය පාදක කරගනිමින්ය. 1956 නොවැම්බර් 03 වැනිදා කොළඹ
ලයනල් වෙන්ඞ්ට් රඟහල් වේදිකාව මත මුලින්ම දිගහැරුනු -”මනමේ” ගැන එවක එහි වැදි රජුගේ මහ ඇමැතිවරයාගේ භූමිකාවට පණ දුන් ලයනල් ප‍්‍රනාන්දු නම් සෞන්දර්යවේදියාගෙන් අපි ඒ ගැන විමසමු. මේ එම දිගහැරුමයි.
මහාචාර්ය සරච්චන්ද්‍රයන් මෙම අතිශය සෞන්දර්යාත්මක කටයුත්තට මුල් පියවර තැබුවේ කොහොමද? මම ඔහුගේ මතකය 50 දශකයට රැුගෙන ගියෙමි.
-ඒ කටයුත්තට ඔහු සම්බන්ධ වූ ආකාරය පැහැදිලි කරමින්ම අපි ඒ ගැන කතා කරමු. මම මහනුවර අම්පිටිය රෝමානු කතෝලික විදුහලෙන් මූලික අධ්‍යාපනය ලබා උසස් අධ්‍යාපනයට ශාන්ත සිල්වෙස්ටර් විදුහලට ඇතුළත් වුණායින් පස්සෙ උසස් පෙළ සමත් වෙලා 1956 ජූලි මාසයෙදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළු වුණා. ඒ වකවානුවේ මාර්ටින් වික‍්‍රමසිංහ, ජී.බී. සේනානායක, පියදාස සිරිසේන හා ඩබ්ලිව්.ඒ. සිල්වා වැනි වියත් ලේඛකයින්ගෙ පොත්පත් කියෙව්වා. විශ්වවිද්‍යාලයේදී සාහිත්‍ය, කලා හා ක‍්‍රීඩා කටයුතුවලටත් මා නිතරම සම්බන්ධ වුණා. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ නම නිතරම සරසවියේ කියවුණාට ඔහු සරසවියේදී මට මුණ ගැසුණේ නැහැ. ඒත් විශ්වවිද්‍යාලයට මා ඇතුළුවෙලා මාස දෙකක් ගත වෙද්දී සරච්චන්ද්‍රයන් පේරාදෙණිය මණ්ඩපයට ආවා.
මං ඒ වෙද්දි ඔහු ගැන සිතාගෙන හිටියේ උස, මහත, ආරෝහ පරිනාහ දේහයකින් යුක්ත කෙනෙක් කියලයි. නමුත් ඔහු දුටුව මුල් දවසෙම ඒක මිථ්‍යාවක් වුණේ ඔහු බොහොම කෙසඟ සිරුරකින් යුත් බොහොම නිවිච්ච පුද්ගලයකු ලෙස දුටුව නිසයි. ඔහුගේ ඇසුරේදී මට වැටහුණේ එම වකවානුවේ විප්ලවකාරී, පර්යේෂණාත්මක නාට්‍යකරණයක් ශ්‍රී ලංකාවේ ඇති කළ යුතුයි යන අදහසේ ඔහු සිටිනවා කියලයි. ඒ නිසා ඔහුට වුවමනා වුණා ගැමි නාටක, ශාන්තිකර්ම ආශ‍්‍රිතව නාඩගම් ශෛලියේ නාට්‍යයක් කරන්න. මම ඒ වකවානුවේ ඔහුගේ පොතක් දෙකක් කියවලා තිබුණා. ඔහුගේ හමුවීම මට සතුටක් ගෙනදුන්නා. ඔහුගේ බුද්ධියේ මුහුකුරා ගිය බවක් මට දැනුණා.”පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල නාට්‍ය මණ්ඩලය බිහිවන්නේ මේ වකවානුවේදීය. පසු කාලීනව සිංහල නාට්‍ය කලාවේ උද්දීපනයට සුවිශේෂීව දායක වූ මේ සංගමයට ලයනල් ප‍්‍රනාන්දු සිසුවාද සම්බන්ධ වෙයි. මනමේ බිහිවීමට මෙම සංගමයද මහෝපකාරී වූ අතර ඉන් සරසවියේ නාට්‍ය පිළිබඳව ප‍්‍රබෝධයක් ඇතිවූයේය.
-මා 56 එම සංගමයට ඇතුළුවන විට එහි සභාපතිවරයා වුණේ ආතර් සිල්වා මහතායි. ඔහු ඇතුළු එහි සාමාජිකයන්ගේ දායකත්වයෙන් අපි පළමු වසරේ ශිෂ්‍යයන් ලෙස විවිධ කලා කටයුතු ඉෂ්ඨ සිද්ධ කළා. අපට විවිධ වැඩ කොටස් පැවරුණා. ඒ අතරේ සරච්චන්ද්‍රයන්ගේ නාට්‍යයක් කළොත් හොඳයි යන අදහස ඉස්මතු වුණා. ඊට අදාළ මූලික වැඩ කටයුතු සකස් කරන්න අප කටයුතු කළා. ඒ අනුව ගීත ගායනයට, රංගනයට, නර්තනයට දක්ෂ අය සරසවියෙන් සොයා ගැනීමට දැන්වීමක් ඇලෙව්වා. කලා පීඨයේ උඩ තට්ටුවේ කුඩා කාමරයක සම්මුඛ පරීක්ෂණ පවත්වන්න සූදානමින් සරච්චන්ද්‍රයන් වාඩිවී සිටියා. දැන්වීමට අනුව අවුරුදු 18, 19, 20 හා 25 වයසේ ගැහැනු පිරිමි සම්මුඛ පරීක්ෂණයට පෙනී හිටියා. එතැන හිටිය සමහරු තම තමන්ගෙ විවිධ හැකියා පෙන්නුම් කළා. ඒ අයගෙ දක්ෂතා බලල සරච්චන්ද්‍රයන් මනමේ නාට්‍යයට නළු නිළියන් තෝරාගත්තා.”
-මොරටුවේ ආගමික පාසලක ඉගෙන ගනිද්දී අධ්‍යාපනය පිළිබඳ ඉහළ උපාධියක් ලබාගැනීමට පේරාදෙණිය සරසවියට පැමිණි බෙන් සිරිමාන්න මනමේ කුමාරයාට තෝරාගත්තා. මටත් ගීත ගැයීමේ හැකියාවක් තිබුණා. මම අමරදේවයන්ගේ ”-පිලේ පැදුර” -”දොඩම් කපාලා” ගීත දෙක ගායනා කළා. පසුව වැදි රජුගේ අමාත්‍යවරයාට මාව තේරුණා. ටි‍්‍රලිෂියා අබේකෝන් පසුව එයා ටි‍්‍රලිෂියා ගුණවර්ධන වුණා. එයත් හේමමාලි ගුණසේකරත් ඉතා හොඳින් ගී ගැයුවා. ඒ දෙදෙනාම මනමේ කුමරියගේ චරිතයට තේරුණා.”
වැදි රජුගේ චරිතයට හැඩිදැඩි දේහධාරී කෙනකු අවශ්‍ය වුණත් එහෙම කෙනෙක් හොයා ගැනීම ටිකක් අසීරු වුණා. පස්සෙ නුවර දළඳා මාළිගාවට සම්බන්ධ සැණකෙළියක එවැනි කෙනෙක් දැක්ක බවට වූ ආරංචියක් ඔස්සේ ගොස් එඞ්මන් විජේසිංහ කියලා කෙනෙක් එක්කගෙන ඇවිත් සරච්චන්ද්‍රට මුණ ගැස්සුවා. ඔහු ගැන පැහැදී ඔහුට වැදි රජුගේ චරිතය දුන්නා. ඒ චරිතයට අමතරව ඔහු රාජගුරු චරිතයටත් පණ පෙව්වා.
පොතේ ගුරා චරිතයට ශ්‍යාමන් සපරමාදු තෝරාගත්තා. ඒක විශේෂම චරිතයක්. ඉන්පස්සෙ එවක නාඩගම් සම්ප‍්‍රදායේ මහ ඇදුරු ලෙස සැලකූ බළපිටියේ අම්පේ උපන් චාල්ස් ද සිල්වා ගුණසිංහ ගුරුන්නාන්සේ සරච්චන්ද්‍රයන්ට සම්බන්ධ වුණා. ඔහු ගැමි නාට්‍ය කලාව, ශාන්ති කර්ම ගැන, නාඩගම් කලාව ගැන සරච්චන්ද්‍රයන්ට බොහෝ ගුරුහරුකම් දුන්නා. ඔහුගේ හසල දැනුමින් මනමේ නාට්‍යයට අවශ්‍යදේ ගත්තා. සරච්චන්ද්‍රයන්ගේ භාර්යාව වූ අයිලින් සපරමාදු මහත්මියගෙන් හැඩ වැඩ කිරීමත්, සිරි ගුණසිංහ මහතාගෙන් ඇඳුම් මෝස්තර නිර්මාණයත් ”-මනමේ” ට විශාල ලෙස ඉවහල් වුණා.”
මේ අවධිය වන විට සරත්චන්ද්‍රයන් වයස අවුරුදු 40 ට ආසන්න වී සිටියේය. ලයනල් ප‍්‍රනාන්දු මහතා 18 වැනි විය ඉක්මවූවා පමණි. මනමේ නාට්‍යයේ උප්පත්තියට ඉතාම වැදගත් වූ පිටපත රචනා කෙරුණේ චාර්ල්ස් සිල්වා ගුණසිංහ ගුරුන්නාන්සේ හා සරච්චන්ද්‍රයන්ගේ කතිකාවන්ගේ ප‍්‍රතිඵලයක් ලෙසය. ගුරුන්නාන්සේගෙන් ලද උපදෙස් මත සරච්චන්ද්‍රයන් මේ මහා නිර්මාණයට උප්පත්තිය ලබාදුන්නේය.
”-පිටපත සකස්වීමෙන් පස්සෙ පුහුණුවීම් කෙරුණේ සරසවියේ සංඝමිත්තා නේවාසිකාගාරය ළඟ ඔහුගේ නිවෙස අසලදී. ඒ භූමියේ බෙරගහනවා, නටනවා. මේ සියල්ල සරච්චන්ද්‍රයන් ඉතා අවධානයෙන් බලා ඉඳලා ගුරුහරුකම් දුන්නා. ඔහුගේ නිවෙසේ පිසූ කෑම බීම පවා පුහුණු වන අයට දුන්නා. පුහුණුවීම් අවසානයේ දුර බැහැර ඉන්න අය ඔහුගේ වාහනයෙන්ම ගිහින් බැස්සුවා. අමරදේව මහත්තයත් මේ කටයුත්තට සංගීතය සපයන්න දායක වෙලා හිටියා. මාස 3 ක් පමණ පුහුණුවීම් කළේ ඉතා දුෂ්කරතා මැද්දේ.
අරමුදල් කොහෙන්වත් ලැබුණේ නැහැ. වැඩි පිරිවැයක් ඔහු දැරුවා. මේ සියල්ල අවසානයේ 1956 නොවැම්බර් 3 වැනිදා කොළඹ ලයනල් වෙන්ට්ඞ් රඟහලේදී ප‍්‍රථම වරට වේදිකාගත වුණා. නරඹන්නන් 20 දෙනෙක් පමණයි ශාලාවේ හිටියේ. නාට්‍යයෙන් කිසිදු ආර්ථික ලාභයක් ඔහුට ලැබුණෙත් නැහැ. ඔහු එහෙම බලාපොරොත්තු වුණෙත් නැහැ. නමුත් අපි කවුරුවත් එයින් අධෛර්යමත් වුණේ නැහැ.
”නාට්‍යයට සහභාගි වූ අපට රුපියල් 15 බැගින් ඔහු දුන්නා. ඒ කාලෙ තිබුණු බොහොම ආටෝප වලින් විච්චූර්ණ වලින් ගහන නාට්‍ය අතරේ මේක බොහොම සංයමයෙන් වේදිකාවේ දිග හැරුණා. මුල් කණ්ඩායම දර්ශන වාර 30x40 ක හිටියා. මම දර්ශනවාර 100 ට සම්බන්ධ වුණා. වයි.එම්.බී.ඒ. ශාලාව, අම්බලන්ගොඩ, ගාල්ල, මාතර වගේ පිට පළාත් වලටත් නාට්‍ය රැුගෙන ගියා.”
මේ කාලයේ මනමේ ගැන මාර්ටින් වික‍්‍රමසිංහ, චන්ද්‍රරත්න මානවසිංහ, රෙජී සිරිවර්ධන යන ලේඛකයින් හා විශ්වවිද්‍යාල කතිකාචාර්යවරුන් අතින් උසස් විවේචනාත්මක ලිපි ලියැවිණි. ලාංකේය නාට්‍ය කලාවේ හැරවුම් ලක්ෂයක් ලෙස ඔවුහු මෙය සනිටුහන් කළහ. රටේ දේශපාලනික, කලාත්මක, සංස්කෘතික උද්දීපනයක් මනමේ මගින් නිර්මාණය වූයේය. විශාල සංස්කෘතික විප්ලවයකට මෙය මුලපිරීය.
”-මුල් නළු නිළි කැළ විවිධ උසස්වීම් හා තාන්න මාන්න ලබාගෙන විවිධ ඉසව් ඔස්සේ විහිදී ගිය නිසා මනමේ සඳහා අලූත් කණ්ඩායමක් එකතුවුණා. මනමේ වෙතින් සිදුවුණු සුවිශේෂීම දෙය වුණේ දයානන්ද ගුණවර්ධන, බුද්ධදාස ගලප්පත්ති, සුගතපාල ද සිල්වා, හෙන්රි ජයසේන, නිශ්ශංක දිද්දෙණිය, චාලි ජයවර්ධන, ජයලත් මනෝරත්න හා සෝමලතා සුබසිංහ වැනි අද්විතීය කලාකරුවෝ, කලාකාරිනියෝ රැුසක් සරච්චන්ද්‍රයන්ට ලාංකේය නාට්‍ය ක්ෂේත‍්‍රයට ඔහුගේ ගෝලයන් ලෙස දායක කරන්නට හැකිවීමයි.”
”මේ කටයුතුවලට සරච්චන්ද්‍රයන්ට එදා රාජ්‍ය අනුග‍්‍රහයවත්, මාධ්‍ය අනුග‍්‍රයක්වත් ලැබුණේ නැහැ. නමුත් මනමේ නාට්‍යයෙන් පසුව ලාංකේය නාට්‍ය කලාවට ලැබුණු උත්තේජනය සුළුපටු නැහැ. කවදාවත් ඔහු මුදල් හොයන චේතනාවෙන් මේ කටයුත්ත කළේ නැහැ. ඔහුට අවශ්‍ය වුණේ මෙවැනි පෙරළිකාර නිර්මාණ හරහා නාට්‍ය කලාව පෝෂණය කිරීමයි. ඔහු මියයන තුරුම මනමේ නාට්‍ය හා ඉතා තදින් බද්ධ වී සිටියා.”
No comments:
Post a Comment